මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරුවරුන් පිරිසකට තැපැල් ඡන්ද අහිමි කිරීම

(2011 පෙබරවාරි 19) මිනුවන්ගොඩ කලාපයට අයත් කොටදෙණියාව කරුණාරත්න මහා විද්‍යාලයේ සහ මැල්ලවගෙදර මහා විද්‍යාලයේ ගුරුවරුන් තැපැල් ඡන්ද ප‍්‍රකාශ කිරීමට අයදුම් කරමින් අදාළ ඉල්ලූම්පත් නියමිත දිනට පෙර මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයට භාර දී තිබියදීත් ඔවුන් එය නියමිත කාලයට
ගම්පහ දිස්ත‍්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලබා නොදීම නිසා මෙම විදුහල්වල
ගුරුවරුන්ගේ තැපැල් ඡන්ද ඉල්ලූම්පත‍්‍ර ප‍්‍රතික්ෂේප කොට ඇත.

මෙම ගුරු පිරිසගේ නාම ලේඛන විදුහල්පතිතුමාගේ නිර්දේශ සහිතව ඉදිරිපත් කරන ලංකා ගුරු සංගමය .
කලාප කාර්යාලයේ පවතින අකාර්යක්ෂමතාවය නිසා නියමිත දිනට ඉල්ලූම්පත් ඉදිරිපත් කළ
ගුරුවරුන්ට තැපැල් ඡන්ද අහිමිවීම පිළිබඳ තත්වය සොයා බලා ඔවුන්ට සහනයක් සලසන ලෙසත්,
මේ ආකාර ආකාර්යක්ෂම කටයුතු සිදුවීම් පිළිබඳ කරුණු සොයා බලන ලෙසත් මැතිවරණ කොමසාරිස්තුමාගෙන්
වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ගුරුවරුන්ට හිඟවැටුප්, ආපදා ණය, පාසල් සිසුන් සඳහා ශිෂ්‍යාධාර මුදල් මේ දක්වා ලබාදීමට කටයුතු නො කිරීම

(2011 පෙබරවාරි 19) ගුරු සේවයේ උසස්වීම් හා වැටුප් වැඩිවීම්වලට අදාළව නිකුත් කර ඇති 2005/4, 6/2006, 2008/45, 2009/25 යන චක‍්‍රලේඛවලට අනුව ගුරුවරුන්ගේ වැටුප් නියමිත පියවරෙහි පිහිටවා ගෙවිය යුතු හිඟවැටුප මේ දක්වා අතිවිශාල ගුරුවරුන් ප‍්‍රමාණයකට ගෙවා නොමැත. බිලියන 2කට ආසන්න මුදලක් මේ වන විට දිවයින පුරා ගුරුවරුන්ගේ හිඟවැටුප් ලෙස ගෙවීමට ඇත.

2010 ජනාධිපතිවරණ සහ මහමැතිවරණ සමයේදී මෙම හිඟමුදල් ඉදිරි පරිපූරක ඇස්තමේන්තුවෙන් ලබාදෙන
බව ප‍්‍රකාශ කොට පසුව නොවැම්බර් අයවැයෙන් ගෙවන බවට පොරොන්දු විය. එහෙත් එයද ඉටු නොවූ පසු
2011 ජනවාරියේදී මෙම හිඟමුදල් ගෙවන බවට අධ්‍යාපන ලේකම් ඇතුළු පළාත් මහ ඇමතිවරුන් ප‍්‍රකාශ කළද
මේ දක්වා මෙම මුදල් ලබාදී නොමැත.

එසේ ම 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් ශිෂ්‍යත්වලාභී දරුවන්ට 2010 වසර තුළ ගෙවිය යුතු ශිෂ්‍යාධාර මුදල ලබා දී නොමැත. නිසි පරිදි මෙම ශිෂ්‍යාධාර නොලැබීම නිසා මෙම ශිෂ්‍යාධාරලාභී දරුවන් දැඩි අසීරුතාවකට පත්වී ඇත.

ගුරුවරුන් සඳහා ගෙවන ආපදා ණය සඳහා ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන නොමැති කමින් ඒ සඳහා දිගු කාලයක් බලා
සිටියද එය නොලැබෙන තත්වයක් උදා වී ඇත.

පවතින මේ තත්වය තුළ මේ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන වහා ලබාදී ලැබිය යුතු හිඟ වැටුප්, ආපදා ණය හා ශිෂ්‍යාධාර වහාම ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින ලංකා ගුරු සංගමය තවදුරටත් ගුරුවරුන්
නොරවටන ලෙස අවධාරණය කර සිටී.

පාසල් කළමනාකරණ සහකාර පත්වීම් ලත් 2006 දී ගුරු සේවයට පත්වීම් ලද පිරිසට අධ්‍යාපන පරිපාලන සේවා විභගායට අයදුම් කිරීමේ අවස්ථාව අහිමි කිරීමට විරෝධය

(2011 පෙබරවාරි 19) පාසල් කළමනාකරණ සහකාර හා සංවර්ධන සහකාර තනතුරුවලට පත්වීම් ලැබීමෙන් අනතුරුව 2006 වසරේදී ගුරු සේවයට බඳවා ගන්නා ලද පිරිසට සිය සේවා කාලයේ වසර 5 ක් සම්පූර්ණ නොවීම මත ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තරග විභාගය සඳහා ඉල්ලූම් කිරීමේ අවස්ථාව අහිමි වී ඇත.

මීට හේතු වී ඇත්තේ ඔවුන් පාසල් කළමනාකරණ සහකාර හා සංවර්ධන සහකාර තනතුරු දැරූ කාලය ගුරු
සේවයට එක් නොකිරීම නිසාය. එහෙත් උතුරු මැද පළාතේ පමණක් පාසල් කළමනාකරණ හා සංවර්ධන
සහකාර පත්වීම් ලද පිරිස ගුරු සේවයට බඳවා ගැනීමේදී පළාත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් අනුව සංවර්ධන
සහකාර, පාසල් කළමනාකරණ සහකාර තනතුරු ලද දින සිට ඔවුන්ගේ සේවා කාලය ගුරු සේවයට එක් කොට ඇත.

මේ තත්වය තුළ මෙලෙස ගුරු පත්වීම් ලද උතුරු මැද පළාතේ ගුරු පිරිසට අධ්‍යාපන පරිපාලන සේවා
විභාගයට අයදුම් කිරීමට අවස්ථාව ලැබෙන අතර, සෙසු පළාත්වල පිරිසට මෙවර අධ්‍යාපන පරිපාලන සේවා
විභාගයට ඉල්ලූම් කිරීමේ අවස්ථාව අහිමිව ඇත.

මේ තත්වය සැලකිල්ලට ගෙන මෙම ගුරුවරුන්ට මෙවර අධ්‍යාපන පරිපාලන සේවයේ තරග විභාගයට අයදුම්
කිරීමට අවස්ථාව සලසන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

එපමණක් නොව මෙම ගුරුවරුන් මුහුණ දී ඇති ගැටළු සහගත තත්වයට පිළිබඳව අධ්‍යාපන ලේකම්වරයාට,
පළාත් ආණ්ඩුකාරවරුන්ට හා පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට අවස්ථා ගණනාවකදී ම පෙන්වා දී ඇති ලංකා
ගුරු සංගමය මෙම ගුරු පිරිසගේ සේවා කාලය ඔවුන් පාසල් කළමනාකරණ සහකාර හා පාසල් සංවර්ධන
සහකාර පත්වීම් ලද දිනට පෙරදාතම කොට ගුරුසේවයට ඇතුළත් කරන ලෙස දිගින් දිගටම අවධාරණය කර
සිටී.

ගංවතුර හා නාය යාම්වලට ගොදුරු වූ රාජ්‍ය සේවකයින්ට ලබාදෙන අත්තිකාරම් මුදල වාරික 10 කින් නැවත අය කිරීම අසාධාරණයි

(2011 පෙබරවාරි 19) අංක 03/2011  චක‍්‍රලේඛය අනුව ගංවතුර හා නාය යාම්වලට ගොදුරු වූ රාජ්‍ය සේවකයින්ට ලබාදෙන අත්තිකාරම් මුදල වාරික 10 කින් නැවත අය කරන ලෙස දක්වා ඇත.

මෙම අත්තිකාරම් මුදල වාරික 10 කින් අය කර ගැනීමේදී වැටුපෙන් අවකරණය වන මුදල අධික වීම මත රාජ්‍ය සේවකයින් දැඩි අසීරුතාවයකට පත් වේ.

එබැවින් නැවත අය කිරීම සඳහා වන වාරික ගණන දීර්ඝ කර ගංවතුර හා නායයාම්වලට ගොදුරු වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් සලසන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගෙන් ලංකා ගුරු සංගමය ඉල්ලා සිටියි. .