පාසැල්වල දෙවන වාර විභාග නැවතත් අවුලකට

(ජුලි 09, 2010) පාසැල් මට්ටමෙන් වාරවිභාග සිදු කිරීම නිසා පැවති ව්‍යාකූලතාවය මග හැරවීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් පසැල් වාර විභාගය ඒකාබද්ධව කිරීමේ නියාමක ව්‍යාපෘතිය යනුවෙන් වැඩපිළිවෙලක් සකස්කර, පාසැල් වාර විභාග ජාතික මට්ටමෙන්, අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීම මත, පළාත් අධ්‍යාපන කාර්යාල වල අධීක්ෂණය යටතේ කලාප අධ්‍යාපන කාර්යාල හරහා සෑම පාසැලකටම එකම ප‍්‍රශ්ණ පත‍්‍රයක් ලබා දෙන ලදී.

එසේ තිබියදී හිටපු අධ්‍යාපන ලේකම් එම්.එම්.ඞී. බණ්ඩාර මහතා විසින් 2010-04-23 දින නිකුත් කරන ලද අංක 2010/16 දරන චක‍්‍රලේඛය මගින් වාර විභාග නැවත පාසැල් මට්ටමින් පවත්වන ලෙස දැනුම් දී ඇත. එසේම එම චක‍්‍ර ලේඛයේ 5වන වගන්තියේ සඳහන් කොට ඇත්තේ. ඒ සදහා මුදල් ප‍්‍රතිපාදන, පාසැල් සංවර්ධන සමිති හා පාසැල් නගා සිටුවීමේ සමිතිවල ගිණුම් හා පාසැල්වල පහසුකම් සහ සේවා ගාස්තු ගිණුමෙන් ලබාගත යුතු බවයි.

එම චක‍්‍රලේඛයට විරෝධය ඵල කරමින් ලංකා ගුරු සංගමය අධ්‍යාපන ඇමතිවරයාට 2010-05-18 දින ලිපියකින් යවන ලද අතර, එම ලිපියෙන් ඉල්ලා සිටින ලද්දේ නැවතත් පලාත් මට්ටමෙන් පෙර පැවති පරිධි විධිමත්ව පාසැල් වාර විභාග පවත්වන ලෙසයි. එම ලිපියට මේ දක්වා පිළිතුරක් ලබා නොදුන් අධ්‍යාපන අමාත්‍යංශය හිටපු ලේකම්ගේ අත්සනින් නිකුත් කල 2010/16 චක‍්‍ර ලේඛය අනුව වාර විභාග පැවැත්වීමට කටයුතු කරමින් සිටීයි. වාර විභාග ප‍්‍රශ්න පත‍්‍ර සදහා වියදම් පියවා ගතයුතු ආකාරය පැහැදිලිවම චක‍්‍ර ලේඛයේ දක්වා තිබීයදීත් සමහර පාසැල්වල මුදල් එකතු කිරීම අරඹා ඇත.

ලංකා ගුරු සංගමය ඉල්ලා සිටින්නේ පාසැල් මට්ටමින් විභාග පැවැත්වීමේදී, සිදුවු අක‍්‍රමවත්භාවය සැලකිල්ලට ගෙන ජාතික මට්ටමෙන් වාර විභාග පැවැත්වීමට ගත් කීරණය එලෙස ක‍්‍රියාත්මක කරන ලෙසත් මේ වන විට පාසැල් මට්ටමින් විභාග පැවැත්වීමට අදාලව නිකුත් කළ චක‍්‍රලේඛයද උල්ලංඝණය කරමින් සිදුකරන මුදල් එකතු කිරීම නතර කරන ලෙසත් ය.