සම්පත්දායකයින්ට ගෙවීමට බව කියමින් ගුරු වැඩමුළුවේදී මුදල් එකතු කළ ගුරු උපදේශක අතේ කෝට්‌

කරුණාරත්න ගමගේ (දිවයින, ජුලි 01, 2010)

අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට අයත් කැකිරාව කලාපයේ ගුරුවර ගුරුවරියන් 40 දෙනකු සඳහා පැවැත්වෙන සිව්දින සේවාස්‌ථ වැඩමුළුවක සම්පත්දායකයින්ට දීමනා ගෙවීම සඳහා බව පවසමින් ඊට සහභාගි වූ ගුරු භවතුන්ගෙන් එක්‌ අයකුගෙන් රුපියල් 250 බැගින් නීති විරෝධී ලෙස මුදල් එකතු කළ ගුරු උපදේශකවරයකු අතටම අල්ලා ගැනීමට කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා ඊයේ (30) සමත් විය.

පසුගිය 28 වැනිදායින් ආරම්භ වී අද (1 දා) අවසන් වීමට නියමිත මෙම සේවාස්‌ථ වැඩමුළුවට සහභාගිව සිටි ගුරුවරුන්ගෙන් මෙසේ නීති විරෝධී ලෙස මුදල් එකතු කරන බව කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඡේ. කේ. ඒ. එම්. යූ. ජයලත් මහතාට ඊයේ (30) පෙරවරුවේ දැනගන්නට ලැබුණේ "දිවයින" කළ කරුණු විමසීමකදීය.

තමන් මේ පිළිබඳව වහාම සොයා බලන බව කී අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා සේවාස්‌ථ වැඩමුළුව පැවැත්වෙන කැකිරාව සම්පත් මධ්‍යස්‌ථානය වෙත එවේලේම පිටත්ව ගොස්‌ තිබේ.

එහි ගොස්‌ ඊට සහභාගිවී සිටි ගුරු භවතුන්ගෙන් විමසීමේදී අදාළ ගුරු උපදේශකවරයාගේ උපදෙස්‌ මත තමන් රුපියල් 250 බැගින් මුදල් ලබාදුන් බව කීහ. වැඩමුළුවේ සම්පත් දායකයින් සඳහා පමණක්‌ නොව ඊට සහභාගි වන ගුරු භවතුන් සඳහා ද දීමනා සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මුදල් වෙන්කොට තිබෙන බව දැනුම් දුන්නේය.

එම නිසා නීති විරෝධී ලෙස එකතු කළ රුපියල් 10,000 ක මුදල ආපසු ගුරුවරුන්ට තමන් ඉදිරිපිටදීම බෙදාදෙන ලෙස අදාළ ගුරු උපදේශකවරයාට නියෝග කොට තිබේ.

මේ සම්බන්ධයෙන් දිවයිනට අදහස්‌ දැක්‌වූ කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජයලත් මහතා මෙම නීති විරෝධී මුදල් එකතු කිරීම පිළිබඳව දැනුම්දීම ගැන සිය ස්‌තුතිය පිරිනමන බවද කීය.

මෙම නීති විරෝධී මුදල් එකතු කිරීම කළ ගුරු උපදේශකවරයා පිළිබඳව විනය ක්‍රියා මාර්ග ගන්නා බව ද පැවැසීය.

සේවා අවශ්‍යතා යෑයි කියා ගුරුවරුන් දේශපාලන අවශ්‍යතා මත මාරු කරලා

(2010 ජුනි 17)කැලණිය අධ්‍යාපන කලාපයේ මහර වත්තල කැලණිය හා බියගම අධ්‍යාපන කොට්‌ඨාසවලට අයත් ගුරු භවතුන් 60 කට අධික සංඛ්‍යාවකට සේවා අවශ්‍යතාවය යෑයි පවසමින්, දේශපාලන අවශ්‍යතා මත මාරුකොට යවා ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්‌ටාලින් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

කැලණිය අධ්‍යාපන කලාපයේ මහර, වත්තල, කැලණිය, බියගම යන කොට්‌ඨාසවලට අයත් ගුරුවර ගුරුවරියන් 60 කට අධික සංඛ්‍යාවකට සේවා අවශ්‍යතාවට යෑයි සලකමින් දේශපාලකයන් මැදිහත්වීමෙන් නීති විරෝධීව ස්‌ථාන මාරු කොට ඇත. 2007/20 ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියට අනුව ගුරු මාරු මණ්‌ඩල හරහා ගුරු මාරුවීම් සිදු කළ යුතුව තිබියදී ඊට පරිබාහිරව සහ ගුරු මාරු මණ්‌ඩලවලින් තොරව මෙසේ සිදුකර ඇති මාරුවීම් වහා නවතන ලෙස ලංකා ගුරු සංගමය බස්‌නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන්ට දන්වා සිටියි.

වසර මැද මෙසේ අවිධිමත් ලෙස ගුරු මාරු සිදු කිරීමෙන් සිසුන්ගේ අධ්‍යාපනයට දැඩි බලපෑමක්‌ ඇතිවන අතර ශිෂ්‍යත්ව විභාගයට සහ අ.පො.ස. සා.පෙළ පංතිවල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට වන බලපෑම බරපතලය. සේවා අවශ්‍යතා මත යෑයි සඳහන් කරමින් මෙ මාරුවීම් සිදු කළත් ඇතැම් ගුරුවරුන්ට මාරු කර යවන ලද පාසල්වල වැඩ භාරදී නැත.

ප්‍රාදේශීය දේශපාලකයන් තම හිතවතුන්ට පහසු සහ ජනප්‍රිය පාසල් ලබා දීම සඳහා මෙම මාරුවීම් උපයෝගීකොට තිබීම විශේෂත්වයකි. මේ ආකාරයෙන්ම මීගමුව අධ්‍යාපන කලාපයේ මෙන්ම බස්‌නාහිර පළාතේ කලාප කිහිපයකම මෙසේ අවිධිමත් ලෙස ගුරු මාරුවීම් සිදු කර ඇත.

කැලණිය කලාප අධ්‍යාපන අධ්‍යක්‌ෂවරයා ස්‌ථානමාරු ලබාදීමට ගුරුවරුන්ට ලබාදී ඇති ලිපියේ වගන්ති කිහිපයක්‌ම තම බලය අනිසි ලෙස උපයෝගී කරගෙන සඳහන් කර තිබීමද විශේෂත්වයකි. මේ පිළිබඳ සොයා බලා මෙම මාරුවිම් නතර කරන ලෙසද පළාතේ සියලු මාරුවීම් ජාතික මාරු ප්‍රතිපත්තියට අනුව සිදුකරන ලෙස ලංකා ගුරු සංගමය බස්‌නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන්ට දන්වා සිටියි.

ළමා මන්දපෝෂණ මට්‌ටම වැඩිවෙයි

ඒමන්ති මාරඹේ (දිවයින)

(ජුනි 09ල 2010) සෞඛ්‍ය දර්ශක ගණනාවක්‌ අතින් ශ්‍රී ලංකාව ලොව සෙසු රටවල් අභිබවා ඉදිරියෙන් සිටියද මෙරට ළමා මන්දපෝෂණ මට්‌ටම වැඩිවෙමින් පැවැතීම හේතුවෙන් අලුතින් උපත ලබන දරුවන්ගෙන් සියයට 16.6 ක්‌ නියමිත බරට වඩා අඩු බරකින් යුතු වන බව අලුතින්ම සිදුකරන ලද සෞඛ්‍ය සමීක්‍ෂණයකදී අනාවරණය වී තිබේ.

මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාව ලක්‍ෂ තුනක්‌ පමණ වේ. ඒ අනුව මෙම නව දරු උපත්වලින් සියයට 16.6 ක ප්‍රතිශතයක්‌ පැවැතිය යුතු නියමිත උපත් බර වන කිලෝග්‍රෑම් 2.5 ට වඩා අඩු බරකින් යුතුය. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු ළමුන්ගෙන් සියයට 15 ක්‌ දරුණු මන්දපෝෂණ තත්ත්වයකින් ද සියයට 18 ක්‌ සංජානනීය මන්දපෝෂණ තත්ත්වයෙන් හා සියයට 22 ක්‌ අඩු බරකින් යුතු වන බව එම සමීක්‍ෂණ වාර්තාව පෙන්වා දෙයි.

මෙරට වයස අවුරුදු පහට අඩු ළමුන් අතර පවතින උග්‍ර මන්දපෝෂණ තත්ත්වය පසුගිය වසර තිහක කාලය පුරාම නොවෙනස්‌ව පවතින බව ද එම වාර්තාවෙහි සඳහන් වේ.

වසර 2006/2007 කාලසීමාවේදී මෙරට දිස්‌ත්‍රික්‌ක 20 ක්‌ ආශ්‍රිතව සිදුකරන ලද සමීක්‍ෂණයකට අනුව සංජානනීය මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන්ගේ සංඛ්‍යාව සියයට 8 සිට සියයට 41 දක්‌වා විය.

ළමුන් අතර පවතින මන්දපෝෂණ තත්ත්වයට මවුවරුන් තුළ පවතින මන්දපෝෂණ තත්ත්වයන් මෙන්ම දිනෙන් දින ඉහළ යන ආහාර මිල ගණන් හමුවේ බොහෝ දුගී පවුල් පෝෂ්‍යදායී ආහාර වර්ග පරිභෝජනය කිරීම සීමා කරමින් පෝෂණ මට්‌ටමින් අඩු ආහාර පරිභෝජනය කිරීමට පෙළඹීම යන කරුණු බලපා ඇතැයි පෝෂණවේදීහු පෙන්වා දෙති.

ඔවුනට අනුqව ශ්‍රී ලංකාවේ අධික දුගී බවින් පෙළෙන සියයට 20 ක ප්‍රතිශතය දිනකට ලබන ආදායම ඇමරිකානු ඩොලර් 2 ක (රුපියල් 220 ක්‌ පමණ) වන අතර එම මුදලින් සියයට හැටක්‌ම (රුපියල් 120 ක්‌ පමණ) වැය කෙරෙනුයේ ආහාර වෙනුවෙනි.

ළමා මන්දපෝෂණය ඉහළ යැමත් සමඟම නව යොවුන් පිරිමින්ගෙන් සියයට 32 ක්‌ හා ගැහැනු දරුවන්ගෙන් සියයට 25 ක්‌ කෘෂ තත්ත්වයෙන් (උසට සරිලන බරක්‌ නොමැතිවීම) පෙළෙන බව අනාවරණය වී තිබේ.

සමීක්‍ෂණයට අනුව මෙරට වයස අවුරුදු 15-49 වයස්‌ කාණ්‌ඩයට අයත් කාන්තාවන්ගෙන් සියයට 16.2 ක්‌ මන්දපෝෂණයෙන් පෙළෙන අතර සියයට 31.6 ක්‌ නිරක්‌තියෙන් (රක්‌තහීනතාවය) පෙළෙති. නව යොවුන් දරුවන්ගෙන් සියයට 22.3 ක්‌ නිරක්‌තියෙන්ද, වයස මාස 6 සිට අවුරුදු පහ දක්‌වා වයස්‌ කාණ්‌ඩයෙහි පසුවන ළමුන්ගෙන් සියයට 29.3 ක්‌ විටමින් ඒ ඌනතාවයෙන් පෙළෙන බව ද හෙළිවී තිබේ. විටමින් ඒ ඌණතාවයෙන් පෙළෙන ළමුන්ගෙන් සියයට 2.3 ක්‌ම උග්‍ර විටමින් ඒ ඌනතාවයෙන් පෙළෙන බව පෝෂණවේදීහු පවසති.