බස්නාහිර පලාත් මහ ඇමතිවරයා නීත්‍යානුකූල නොවන ලෙසට දිගින් දිගට ම ගුරුමාරු සිදු කිරීමට විරෝධය

(ජනවාරි 14, 2011) බස්නාහිර පලාත තුළ කලාප අධ්‍යාපන කාර්යාල 11 ක් ඇත. මෙම කලාප අධ්‍යාපන කාර්යාල 11 අතර 2011 වසරට අදාළව අන්තර්කලාප ගුරුමාරුවීම් සඳහා විධිමත් ගුරුමාරු ඉල්ලූම්පත‍්‍ර 847 ක් පළාත් අධ්‍යාපන කාර්යාලය වලට ලැබී තිබුණි. මතුගම 56ක්, පිළියන්දල 37, හොරණ 10 ක්, හෝමාගම 18 ක්, ජයවර්ධනපුර 48, මිනුවන්ගොඩ 35 ක්, ගම්පහ 14, කැලණිය 122 ක්, කොළඹ 246ක්, කළුතර 109 ක්, මීගමුව 192 ක් වශයෙනි.

මෙම මාරු ඉල්ලූම්පත‍්‍ර ගුරු සංගම් නියෝජිතයින් ඇතුළත්ව විධිමත් ලෙස පත් කරන ලද ගුරු මණ්ඩලය මගින් නිර්ණායක කිහිපයක් යටතේ සලකා බලා මාරුවීම් ලබා දී තිබුණි.

එනම්, අධ්‍යාපන කලාපයෙන් හා පාසලෙන් නිදහස් කළ ගුරුවරු 23 ක්,
මීගමුව, මතුගම, කලාප වලට හා උතුරු කොළඹ, වත්තල කොට්ඨාසවලට ඉල්ලූම් කරන ලද ගුරුවරු 59 දෙනෙක්,
ගම්පහ, හෝමාගම කලාපවලින් මාරු ඉල්ලා සිටි 28 දෙනෙක්,
වෛද්‍ය හේතු මත 27 ක්,
අනුයුක්ත කිරීම් 2 ක්, වශයෙනි.

ඉහත නිර්ණායක මත ගුරුවරු 139 දෙනෙකුට ස්ථාන මාරු ලබාදුන් අතර, ඉතිරි ගුරුවරුන්ට බස්නාහිර පලාතට අලූතින් උපාධිධාරීන් 453 දෙනෙකු බඳවා ගැනීමේ දී ඔවුන්ට අනුප‍්‍රාප්තික වශයෙන් ස්ථානගත කොට මාරුවීම් ලබාදීමට තීරණය කොට තිබුණි.

තත්වය මෙසේ පවතිද්දී බස්නාහිර පලාත් මහ ඇමතිවරයා තම දේශපාලන හිතවත්කම් සහ වෙනත් හේතු මත විධිමත් මාරු අපේක්ෂා කළ ගුරුවරුන් සිටියදී ගුරුවරුන් 212 දෙනෙකුට මේ වන විට නීත්‍යානුකූල නොවන ආකාරයට ස්ථානමාරු ලබා දී ඇත. වසර 15 කට වැඩි සේවා කාලයක් ඇතිව තම ගම් ප‍්‍රදේශවලට ස්ථානමාරු අපේක්ෂා කළ ගුරුවරුන් සිටියදී වසර දෙක තුනක් හෝ සේවා කාලය නැති ගුරුවරුන් ස්ථානමාරු කොට ඇත.

එම ස්ථානමාරු වීම් කාලප අනුව ගත්විට කොළඹින් 60 ක්, මීගමුව 67, කැලණිය 25, කළුතර 18, ජ’පුර 4, මිනුවන්ගොඩ 12, මතුගම 14, ගම්පහ 4, පිළියන්දල 8 ආදී වශයෙනි.

විධිමත් මාරු අපේක්ෂිත ගුරුමාරු මණ්ඩල හරහා සකස් කළ ප‍්‍රමුඛතා ලේඛනයේ ගුරුවරු 708 දෙනෙකු සිටියදී මහ ඇමතිවරයා ඊට පරිබාහිරව ගුරුවරු 212 දෙනෙකු ස්ථාන මාරු කිරීම අපි දැඩි පිළිකුලෙන් හෙළා දකිමු.

2007/20 දරණ ජාතික ගුරුමාරු ප‍්‍රතිපත්තිය මෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ෙඡ්දයේ 12 වගන්තියේ (2) සඳහන් සමානව සැලකීමේ මූලධර්මය ද උල්ලංඝණය කරමින් සිදු කරන ලද මෙම කි‍්‍රයාවලිය වහාම නතර කරන ලෙසත්, පළාතේ සියලූ ගුරුවරුන්ට සමාන සැලකුම් ලැබීමට ඇති අයිතිය තහවුරු කරන ලෙසත් ලංකා ගුරු සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.