පඩි මදිනම් ආපසු ගුරු සේවයට යන්න; විදුහල්පතිවරු පන්දහසකට අධ්‍යාපන අමාත්‍යංශයෙන් චක්‍රලේඛයක්‌

නිලන්ත මදුරාවල (දිවයින)

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වූ විදුහල්පතිවරුන් පන්දාහසකට පමණ ගුරු සේවයේ සිටියදී ලැබූ වැටුපට වඩා අඩු වැටුපක්‌ ලැබීම හේතුවෙන් ඔවුහු දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටිති. මෙලෙස වැටුප් අඩු වීමේ ගැටලුවට පිළියමක්‌ වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක්‌ මගින් ඔවුන්ට දැනුම් දී ඇත්තේ විදුහල්පති සේවයෙන් ඉවත් වී යළි ගුරු සේවයට ම අන්තරග්‍රහණය වන ලෙසයි. එම චක්‍රලේඛයට අනුව යළි ගුරු සේවයට යැමට අකමැති නම් අඩු වැටුපක්‌ ලබමින් විදුහල්පතිවරුන් වශයෙන් කටයුතු කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශයට දිවුරුම් ප්‍රකාශයක්‌ ඉදිරිපත් කළ යුතුය.

2000 වසරින් පසුව විදුහල්පති සේවයට පත් වූ විදුහල්පතිවරුන් මෙම ගැටලුවට මුහුණ දී සිටිති. තරග විභාග අභියෝග ජයගෙන ඉතා අපහසුවෙන් විදුහල්පති සේවයට පත්වූ ඔවුහු මෙම තත්ත්වය හමුවේ කළ යුත්තේ කුමක්‌ද යන්න පිළිබඳව සිතා ගත නොහැකිව වික්‍ෂිප්තව සිටිති.

විදුහල්පති සේවයට බඳවා ගැනීම සඳහා 2005 වසරේ පැවැත්වූ තරග විභාගයේ ප්‍රතිඵල මත විදුහල්පති සේවයට ඔවුන් බඳවා ගත්තේ වසර පහකට පසුව එනම් 2010 වසරේදීය.

1999 වසරේ පැවති තරග විභාගයෙන් සමත් වූවන්ට විදුහල්පති සේවයට පත්වීම් ලබා දුන්නේ වසර 2002 දීය. තරග විභාගයට පෙනී සිටීමෙන් පසුව විදුහල්පති සේවයේ පත්වීම් ලැබීම ප්‍රමාද වීම නිසා ගුරු සේවයේ ඔවුන් ලබන වැටුප ක්‍රමයෙන් ඉහළ යයි.

නව විදුහල්පතිවරුන්ට ගුරු සේවයට වඩා අඩු වැටුපක්‌ ලැබීමේ ගැටලුව මතුව ඇත්තේ ඒ අනුවය. තරග විභාග පවත්වා වසරින් වසර විදුහල්පති සේවයේ පුරප්පාඩු පිරවීමට අමාත්‍යාංශය කටයුතු කරන්නේ නම් මෙම ගැටලුව ඇති නොවන බව නව විදුහල්පතිවරු ප්‍රකාශ කරති.

කෙසේ වුවද මෙම විදුහල්පතිවරුන්ගේ ගැටලුවට පිළියමක්‌ වශයෙන් අමාත්‍යාංශය නිකුත් කර ඇති 2010/12 චක්‍රලේඛය අවලංගු කර ඔවුන්ට සහනයක්‌ සලසන ලෙස ලංකා ගුරු සංගමය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා ඇත.