උතුරු මැද ගුරු මාරු මණ්‌ඩල රැස්‌වීමේදී ගත් සියලු තීරණ නොවැම්බර් 8දා තෙක්‌ බලරහිත කරයි

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු (දිවයින)

(ඔක්තෝබර් 31, 2010) උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා විසින් කැඳවන ලද උතුරු මැද පළාත් ගුරු මාරු මණ්‌ඩල රැස්‌වීම හා එහිදී ගන්නා ලද සියලු තීරණ ලබන මස 08 වැනිදා තෙක්‌ බලරහිත කරමින් උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කළේය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න හේරත් මහතා මගින් ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය, සහ සමස්‌ත ලංකා එක්‌සත් ගුරු සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සමක්‌ කළකා බැලූ බන්දුල කරුණාරත්න හා කුමාර රත්නායක යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කෙරිණි.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ එච්. කේ. එම්. ජිනපාල, උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් ආනන්ද කුලරත්න සහ උතුරු මැද පළාත් ආණ්‌ඩුකාර ලේකම් ආර්. එම්. එස්‌. බී. රත්නායක යන මහත්වරුන් නම් කොට ඇති අතර ඔවුනට ලබන මස 08 වැනිදා උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කෙරිණි.

මෙම පෙත්සමින් නම් කොට ඇති පළමු වග උත්තරකාර උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා විසින් ඉකුත් 05 වැනිදා කැඳවනු ලැබූ ගුරුමාරු මණ්‌ඩල රැස්‌වීම හා එහිදී ගන්නා ලද සියලු තීරණ නීති විරෝධී බවත්, එම නීති විරෝධී ඒක පාර්ශ්වික ගුරුමාරු මණ්‌ඩල රැස්‌වීමේදී අනුමත කොට ඇති ගුරු ස්‌ථාන මාරුවීම් තුන්සියයද මුළුමණින්ම නීති විරෝධී බවත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න හේරත් මහතා අධිකරණයට කරුණු දක්‌වමින් කියා සිටියේය.

එමෙන්ම පළමුවන වග උත්තකාර උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා උතුරු මැද පළාත් ආණ්‌ඩුකාරවරයාගේ හා උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝගද නොසළකා හරිමින් හිතුවක්‌කාරී අන්දමින් කටයුතු කරන බවත්, ඔහු විසින් කැඳවනු ලැබූ නීති විරෝධී ගුරු මාරුමණ්‌ඩල රැස්‌වීමේදී ගන්නා ලද තීරණ හේතුවෙන් තම සේවාදායකයන් හට විශාල අසාධාරණයක්‌ සිදුවී ඇති බවත් නීතිඥ කරුණාරත්න හේරත් මහතා අධිකරණයට කරුණු දක්‌වමින් වැඩිදුරටත් පැවැසීය.

පෙත්සම්කාර ගුරු සංගම් නියෝජනය කරමින් ලංකා ගුරු සේවා සංගමය වෙනුවෙන් අරුණ දිසානායක, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය වෙනුවෙන් ආනන්ද අටුගොඩ හා සමස්‌ත ලංකා එක්‌සත් ගුරු සංගමය වෙනුවෙන් ටී. සබ්රි යන මහත්වරුද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

0 comments:

Post a Comment